sinhala news 2012.04.05

රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයකින්
ඛනිජ තෙල් සංස්‌ථාවට කෝටි 4500ක පොලු
ඇමැති සුසිල් පාර්ලිමේන්තුවේදී ඊයේ කියයි

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකින් මේ වන විට ඛනිජ තෙල් සංස්‌ථාවට රුපියල් කෝටි 4500 කට ආසන්න ණය මුදලක්‌ ගෙවීමට තිබෙන බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (4 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් සංස්‌ථාවට ණය වී ඇති රාජ්‍ය ආයතන අතරින් ලංකා විදුලිබල මණ්‌ඩලය රුපියල් කෝටි 773 ක්‌ ද, දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 347 ක්‌ ද ගෙවීමට ඇතැයි ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා යුද හමුදාව රුපියල් කෝටි 221 ක්‌ද, ශ්‍රී ලංකා නාවුක හමුදාව රුපියල් කෝටි 579 ක්‌ ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව රුපියල් කෝටි 99 ක්‌ ද ගෙවීමට තිබේ.

ඛනිජ තෙල් සංස්‌ථාවට ටෙස්‌ට්‌ කෝස්‌ට්‌ පවර් සමාගම රුපියල් කෝටි 69 ක්‌ ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 1235 ක්‌ද, මිහින් ලංකා සමාගම රුපියල් කෝටි 121 ක්‌ ද ගෙවීමට තිබෙන බව ඇමැතිවරයා කීවේය.

තවත් පුද්ගලික සමාගම් සහ රාජ්‍ය ආයතන කිහිපයක්‌ ඛනිජ තෙල් සංස්‌ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක්‌ ගෙවා නැතැයි කී ඇමැතිවරයා ණය ප්‍රමාණය ඉහළ යන රාජ්‍ය ආයතන වෙත සිහි කැඳවීම් කරන බව ද පැවසුවේය.

තම ණය දඩ පොලී රහිතව ගෙවීම සඳහා රජයේ වාණිජ ආයතනවලට දින 30 ක සහන කාල සීමාවක්‌ ලබා දී ඇතැයි කී ඇමැතිවරයා පෞද්ගලික ආයතන විසින් ණය ගෙවීම පැහැර හරින්නේ නම් ලබා දී ඇති බැංකු බැඳුම්කර මුදල් බවට පත් කර ගන්නා බව ද කීය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එ.ජා.ප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රේමජයන්ත මහතා ඉහත ප්‍රකාශ කළේය.
දිවයින පුවත්පත ඇසුරිනි